දේශීය

වනෝද්‍යාන කිහිපයක් නැවත දැනුම් දෙනතුරු වැසෙයි

දිවයිනේ පවත්නා වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01, 02, 03, 04, සහ 05 සංචාරකයින් සඳහා වසා දමන බව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

කලාප අංක 06 කළු පාලම ප්‍රවේශ මාර්ගය පමණක් සංචාරකයින් සඳහා විවෘතව තබන බවද එහි සඳහන් වනවා.

එමෙන්ම හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය, වස්ගමුව ජාතික උද්‍යානය, කුමන ජාතික උද්‍යානය, විල්පත්තුව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා මුළුමනින්ම වසා ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයින් වැඩිදුරටත් දන්වා සිටිනවා.

මෙම දිනවලදී අදාළ ජාතික උද්‍යානවල සංචාරක නිවාස වෙන් කරන ලද සංචාරකයින්ට, එම වෙන් කරවා ගැනීම් පසුදිනකදී සිදු කරවා ගත හැකි බවද එහි සඳහන් වනවා.

Shares: