රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජිකයකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ප්රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනිඅවියක් ඇතුළු දේපොළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව මෙලෙස සොයාගෙන තිබෙන්නේ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක්.
මෙම ගිනිඅවිය සහ පතොරොම් තොගය සොයාගෙන ඇත්තේ එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබියදීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකා කැලණිය කඳවුරේ නිලධාරින්ගේ ද සහාය ඇතිව මෙම මෙහෙයුම සිදුකර තිබුණා.
ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමති සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙනයි වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ.
සිද්ධිය සම්බන්ධෙයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.











