දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට අතුරුදන් බව කියූ ‘කහ ඇනකොණ්ඩා’ පැටවා සොයාගෙන තිබෙනවා.
අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් උරග උයනේ සත්ව භාරකරුගේ වැඩ තහනමට ලක්කර පැය 24ක් ගතවීමට මත්තෙන් එම උයන තුළ යකඩ පෙට්ටියක සිටියදීයි මෙම කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට හැකිව ඇත්තේ.
ඉකුත් දිනෙක කාන්තාවක විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ඇතුළු සර්ප විශේෂ 4කට අයත් සර්පයින් 6 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ නිලධාරීන් විසින් භාරයට ගෙන රැකබලා ගැනීම සඳහා 2025.09.15 වන දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාරදීමෙන් පසු උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටියදී අවුරුද්දක් පමණ වයසැති අඩි 1 1/2ත් 2ත් පමණ දිගැති සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩා පැටවා මෙලෙස අතුරුදන්වී ඇති බවට ඉකුත් 7 වනදා දෙහිවල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
කහ ඇනකොණ්ඩා භාරව සිටි සේවකයා ප්‍රකාශ කර සිටියේ අතපසුවීමකින් පැටවා රඳවා සිටි පෙට්ටියේ දොර වසා නොතිබීම හේතුවෙන් පැටවා එළියට ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සත්වෝද්‍යානය තුළ සේවකයන් යොදවා සෝදිසි කිරීම් සිදුකර තිබුණද කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට නොහැකි වූවා.
පසුව මේ පිළිබඳව ඊයේ (16) දින උරගයින් භාරව සිටි සත්ව භාරකරුගේ වැඩ තහනමට ලක්කර තිබුණේ ඔහුට එරෙහිව මූලික පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුවයි.
එවන් පසුබිමක මෙලෙස උරග උයන තුළ යකඩ පෙට්ටියක සිටියදී මෙම කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
ඇනකොන්ඩා සිටි කූඩුවේ ඉතා කුඩා සිදුරකින් මෙම සතා එළියට ගොස්, කබඩ් එකක ලාච්චුවක සැඟවී සිට ඇති බවයි සත්වෝද්‍යාන නිලධාරියකු කියා සිටියේ.











