දේශීය

වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න සහ වීඩියෝව ගැන විමර්ශන

මිහින්තලේ සීප්පුකුලම, අඹගහවල ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් වනඅලියෙකු පුලුස්සන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් අනුරාධපුර අඩවියෙහි නිලධාරීන් විසින් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම වනඅලියාගේ මරණය පිළිබඳ තොරතුරු අද දින (17) අධිකරණයට වාර්තා කිරීමට නියමිත බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම වනඅලියා පිලිස්සු පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර අඩවියෙහි වනසත්ව අඩවි ආරක්ෂක මහතා ඇතුළු නිලධාරීන් යුද හමුදා රහස් ඔත්තු සේවයේ නිලධාරීන් සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනවා.

වයස අවු. 50-55 සහ උස අඩි 09ක් පමණ, පිරිමි සතෙකු වන මෙම වනඅලියාගේ ඉදිරි වම් පාදයෙහි වෙඩි වැදීමක් හේතුවෙන් මීට පෙර සිටම මෙම ප්‍රදේශයෙන්ම සොයා ගෙන පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් 2025.05.14 , 2025.06.04 සහ 2025.07.03 යන දිනයන්වලදී ප්‍රතිකාර සිදුකර ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඉන් පසුව වන අලියා පිළිබඳව වාර්තා වී නොමැති අතර,අනුරාධපුර අඩවියෙහි නිලධාරීන් දිගින් දිගටම වනඅලියා පිළිබඳව පරීක්ෂාවෙන් සිට තිබෙනවා.

ඉන්පසුව ඊයේ දින මියගිය එම අලියා පිලිස්සුම් තුවාල හා වෙඩි වැදුණු තුවාල සහිතව සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ ඉඩමක වැටී සිටින බවට ලද තොරතුරු මත එම නිලධාරීන් විසින් පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලය දැනුවත් කිරීමෙන් පසුව පණ්ඩුලගම පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති මෙනවිය ඇතුළු පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් පැමිණ වන අලියාට ප්‍රතිකාර කරමින් සිටියදීයි අලියා මිය ගියේ.

Shares: