මහරගම පොලිස් වසමේ වත්තේගෙදර ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ අලෙවි සැලක් ඉදිරිපිට පදික වේදිකාවේ ඊයේ (20) රාත්‍රියේ නිදා සිටි යාචකයෙකු යටකර දෙපාවලට බරපතල තුවාල සිදුකර පලා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා පරීක්ෂණ සිදු කරන බව මහරගම පොලිසියේ රථවාහන අංශය පවසනවා.
මාර්ගය අසබඩ නවතා තිබෙන ඩිෆෙන්ඩර් රථය නැවත මාර්ගයට ගැනීම සඳහා ඒ මේ අත හරවා පිටුපසට ගැනීමේදී වම්පස ඉදිරි රෝදයට යාචක පුද්ගලයා යට වී ඇති බවත්, රෝදයට සහ පොළොවට යාචක පුද්ගලයාගේ කකුල් තද වීමෙන් බරපතළ අයුරින් අස්ථි බිඳී තුවාල සිදුවී ලේ වහනය වෙමින් තිබූ බවත් පොලීසිය සඳහන් කර තිබෙනවා.
ඩිෆෙන්ඩර් රථයට පිටුපසින් නවතා තිබූ කාර් රථයක සිටි රියදුරුවරයකු මෙම අනතුර සිදුවන ආකාරය පිළිබඳ දැක ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට කිහිපවිටක්ම කෑ ගසා ආමන්ත්‍රණය කළද එයද නොතකා ඩිෆෙන්ඩර් රථයේ රියදුරු රථය පිටුපසට ගෙන පලා ගිය බැවින් මහරගම පොලීසියේ දුරකථන අංකයට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් බරපතල ලෙස තුවාල වී සිටි යාචකයා 1990 ගිලන් රථයක් මගින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත යවා තිබෙනවා.
අනතුර සිදුවන ආකාරය වෙළඳසැලෙහි සවිකොට ඇති සීසීටීවී කැමරාවේ පටිගත වී ඇති බවත් එයින් ලබාගත් දර්ශන අනුව ඩිෆෙන්ඩර් රථයේ අංකය හඳුනාගෙන රියදුරු හා වාහනය අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් සඳහන් කළා.
මෙම අනතුර ඩිෆෙන්ඩර් රථය පැදවූ රියදුරා හිතා මතා සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශන මහරගම පොලිසිය සිදුකරනු ලබනවා.