ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.
‘සමනල කන්ද රසික එකමුතුව’ යැයි සඳහන් සංවිධානයක් විසින් මෙම මුදල් රැස්කිරීම් සිදුකරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.
“ඒ අය පරිසරය රකින්න කියලත් එක එක විදියට යෝජනා කරනවා.. ඒ යෝජනා කරන අතරේ කූඨ ලෙස මිනිසුන් නොමඟ යවලා, ලක්ෂ ගණනක් ආධාර ලබාගන්න කටයුතු කරලා තියෙනවා.. ඒ කිසිම කෙනෙකුට වැටේ තීන්ත ගාන්න හෝ ශ්‍රී පාදස්ථානය සුද්ධ පවිත්‍ර කරලා තීන්ත ආලේප කරන්න හෝ අපි භාරදීලා නෑ.. ඒ හැමකෙනෙක්ම මහ දිසාපතිතුමාගෙන් අවසර ගන්න ඕනේ එහෙම නැත්නම් ඒ භාරකාරත්වයෙන් අවසර ගන්න ඕනේ.. අවසර නොලබා කිසිවෙක් කරන්නේ නෑ.. උඩ මලුවේ කරන වැඩ සම්මාදම් කිරීමෙන් තොරව සිදුකරන්නේ..”
ඒ අනුව නොයෙක් සංවිධානවලට මුදල් ලබා දීමෙන් වළකින ලෙසයි පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
කෙසේ වෙතත්, මෙම චෝදනාව සම්බන්ධයෙන් “සමනල කන්ද රසික එකමුතුව” සංවිධානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
එම සංවිධානය මුහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, තම සංවිධානය අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
“සමනල කන්ද රසික එකමුතුව” නම් වූ අප සමූහය විසින් රාජ්‍ය අංශවල අවසරය රහිතව සිදු කළා යැයි පැවසෙන හැටන් නල්ලතන්නිය පාරේ අත්වැටෙහි තීන්ත ආලේප කිරීම, කුරුවිට පාරේ දන්සැල් පැවැත්වීම සහ ඒවාට සම්මාදම් එකතු කළා කියන කරුණු අප සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු.. මෙහිදී නායක හාමුදුරුවන් අප සමූහය ලෙස වරදවා වටහාගෙන වෙනත් පිරිසක් විසින් සිදුකළ කර්තව්‍ය පිළිබඳ අපට දෝෂාරෝපණය එල්ල කර ඇති බව අපට පෙනේ.. වර්ෂ 2019 ජනවාරි මස ආරම්භ කරන ලද “සමනල කන්ද රසික එකමුතුව” යනු වසර 6 කට ආසන්න කාලයක් සාර්ථකව පවත්වාගෙන යනු ලබන Facebook සමූහයකි.. මෙම සමූහයේ සමනල කන්ද ස්වභාව රක්ෂිතය සහ සිරිපා වන්දනාවට අදාළ දේ හැර වෙනත් කිසිවක් ඵල නොවේ.. එලෙසම දැඩි විනයකින් සහ නිරතුරුව සත්‍ය තොරතුරු සහ යාවත්කාලින කිරීම් සිදුකරන සමූහයකි.. එම නිසාම සිරිපා වන්දනාවට අදාළ රත්නපුර, කුරුවිට, හැටන්, මස්කෙළිය, දැරනියගල ආදි ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් බොහෝමයක් අප සමූහයේ සිටියි.. ඔවුන් බොහෝමයක් අප සමග තොරතුරු බෙදාගනිමින් සහ සිරිපා වන්දනාවට අදාළ දේ සකච්ඡා කරති..”