Global Platform For All Sri Lankans

Lanka Hit News

එක්ස්ප්‍රස් පර්ල් නැවේ නඩුවට අදාළව නීතිපතිගේ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම මෝසම අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

අදාළ මෝසම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ඉතා වැදගත් කාරණා කීපයක් විසඳීමට නියමිතව තිබෙන හෙයින් ඒ සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට දැඩි විරෝධය පල කළ අභියාචනා ඉදිරිපත් කළ අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ සරත් ජයමාන්න යන අය කියා සිටියේ මෙම ඉල්ලීම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

මෙවැනි ඉල්ලීමක් කළ යුත්තේ නඩු විභාගය ආරම්භයේදී බව පෙන්වා දුන් එම ජනාධිපති නීතිඥවරු, මෙම අභියාචනා පෙත්සම් විභාගය සඳහා දින නියම කර තිබියදී මෙවැනි ඉල්ලීමක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම පදනම් විරහිත බවත් සඳහන් කර සිටියා.

ඒ අනුව, නීතිපතිවරයාගේ ඉල්ලීම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ ලෙසත් ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු මඩුල්ල අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads