ශ්රි ලංකාව සමග පැවත්වෙන තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබියදි ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුවා.
ඒ අද පැවති දෙවන පන්දුවාර 20යි 20 තරඟයද ලකුණු 45 කින් ජයගනිමිනි.
නවසීලන්තයේ බේ ඕවල් ක්රීඩාංගණයේ මෙම තරඟය පැවතියේ.
කාසියේ වාසිය දිනූ ශ්රි ලංකා කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළා.
මේ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 186ක් රැස් කරනු ලැබුවා.
එහිදී මාර්ක් චැප්මන් ලකුණු 42ක් සහ ටිම් රොබින්සන් ලකුණු 41ක් රැස් කළා.
පන්දු යැවීමේදි වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගත් අතර මතීෂ පතිරණ සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිද හෙලනු ලැබුවා.
ලකුණු 187ක ජයග්රාහි ඉලක්කයක් හඹායමින් පිටියට පැමිණි ශ්රි ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලු ක්රීඩකයින් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 141කි.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 48ක් ,පැතුම් නිස්සංක ලකුණු 37ක් සහ නායක චරිත් අසලංක ල කුණු 20ක් රැස් කරනු ලැබුවා.
පන්දු යැවීමේදී ජේකබ් ඩුෆි කඩුලු 4ක් බිද හෙලුවා.
අද තරඟයට භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්රනාන්දු ශ්රි ලංකා සංචිතයට කැඳවා තිබුණා.
මේ අනුව තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදි තරඟ 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකි වුණා.