Global Platform For All Sri Lankans

Lanka Hit News

නාවික හමුදාවට නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ 2024 දෙසැම්බර් මස 31 වන දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වෙත නිල වශයෙන් අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරුණා.

වේයන්ගොඩ, බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, 1991 වර්ෂයේදී 21 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්ව තිබෙනවා.

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1993 වර්ෂයේ උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1995 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, අවි පිළිබඳ දීර්ඝ පාඨමාලාව ඉන්දියාවේ INS Dronacharya පුහුණු පාසල වෙතින් 2003 වර්ෂයේදීද, අණ හා මාණ්ඩලික පාඨමාලාව සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙතින් 2008 වර්ෂයේදී ද සම්පූර්ණ කර ඇති.

එමෙන්ම, නාවික අවි නඩත්තු ඉංජිනේරු පාඨමාලාව චීනයේදී 2010 වර්ෂයේදී ද, ජ්‍යේෂ්ඨ අණ පාඨමාලාව 2019 වර්ෂයේදී චීනයේ නැන්ජින් නාවික අණදෙන විද්‍යාලයේදී ද, ජාතික ආරක්‍ෂක පාඨමාලව බංගලාදේශයේ ජාතික ආරක්‍ෂක විද්‍යායතනය වෙතින් 2021 වර්ෂයේදී ද, රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙතින්ද, ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්ව විද්‍යාලය වෙතින්ද, බංගලාදේශයේ වෘත්තීය විශ්ව විද්‍යාලය වෙතින් ශාස්ත්‍රපති උපාධිය ද ලබා, සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2023 වර්ෂයේ ජූනි මස 21 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී තිබුණා.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස හා එම සමූහයේ අණදෙන නිලධාරී ලෙසත්, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී ලෙසත්, රාජකාරී සිදු කොට තිබෙනවා.

ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී (මානව සම්පත්), ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් සහ දකුණු නාවික විධානයේ ආඥාපති වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්.

තවද, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ලෙස එම ධුරයන්හි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයෙහි රාජකාරීන් ඉදිරියට සිදුකරනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads