Global Platform For All Sri Lankans

ජනාධිපති ධුර කාලය වසර 05 උසාවියේ නැවත තහවුරු කළ හැටි

president-5-years-court

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ඊයේ (08දා) නිෂ්ප්‍රභ කළේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් දී තිබියදී අධිකරණය නොමග යන ආකාරයට කටයුතු කිරීම වැරදිසහගත ක්‍රියාවක් මෙන්ම අධිකරණයේ කාලය නාස්ති කිරීමක් බවද පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවසායකයෙකු බව කියන චමින්ද්‍ර ලේනව මහතාගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට ඔහු යටත් කළේය. අගවිනිසුරු ප්යන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සුරසේන සහ එස්. තුරේරාජා මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු බව කියන චමින්ද්‍ර ලේනව මහතා ඉදිරිපත් කර ඇති පෙත්සමට එරෙහිව ජාතික ජන බලවේගය, සමගි න බලවේගය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ පැෆරල් සංවිධානය ඇතුළු සංවිධාන 12ක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබිණ. පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් පෙස්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටියාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 05ක් බව පැහැදිලිවම සඳහන් වන්නේ යැයිද මේ වන විට එය නීතියක් බවට පත්වී ඇති හෙයින් ඒ  සම්බන්ධයෙන් අධිකරණයෙන් කිසිදු ඉල්ලීමක් කළ නොහැකි යැයිද කී කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියාය.

සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් කිසිදු ආකාරයකින් මෙම පෙත්සම විභාගයට ගැනීමේ කිසිදු නීතිමය ප්‍රතිපාදන නොමැති හෙයින් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය.පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරු රිට් පෙත්සමකින් අධිකරණට ඉදිරිපත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සඳහන් කර නැතැයිද ඔහු කරුණු වසන් කරමින් පෙත්සම ඉදිරිපත් කර ඇතැයිද කීය.

ජාතික ජනබලවේගයේ ආචාර්ය හරිති අමරසූරිය මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා කරුණු දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශිත වාර්තාවක මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පැවරූ නඩුවක් නිෂ්ප්‍රභ කළ බව පැහැදිලිව සඳහන් වන හෙයින් මෙම පෙත්සම ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය.ඉන් අනතුරුව අධිකරණ ඇමතූ පෙත්සම්කාර චමින්ද ලේනව මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේදී 30වැනි වගන්තිය නිවැරදිව සංශෝධනය වී නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් නිවැරදි අර්ථකථනයක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇතැයි කීය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී අවසන්ව තිබියදී ඔබ ඊට අභියෝග කරන්නේ කෙසේදැයි විමසීය.

පෙත්සම්කාර චමින්ද ලේනව මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156වැනි වගන්තිය යටතේ ඒ සම්බන්ධයෙන් අර්ථකථනයක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 126 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අර්ථකථනය කළ හැක්කේ පහළ උසාවියෙන් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් පමණයි. මේ වන විට මෙය දැන් නීතියක් වී අවසන්, ඔබ කළ යුතුව තිබුණේ ඒ අවස්ථාවේදී ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා දී තිබෙනවා. නමුත් ඔබ ඒ අවස්ථාවේදී එය කළේ නැහැ.

පෙත්සම්කාර චමින්ද ලේනව මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 සිට 86 දක්වා වගන්ති අනුව නීතියක් පවා අර්ථකථනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙනවා.

අගවිනිසුරු යන්ත ජයසූරිය මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ පසු කථානායකවරයා ඊට අත්සන් කර මේ වන විට එය නීතියක් බවට පත්කර හමාරයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බව පැහැදිලිව සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් අභියෝග කළ යුතු අවස්ථාවේදී ඔබ අභියෝග කර නැහැ.දැන් ඊට අභියෝග කිරීමට ඔබට හැකියාවක් නැහැ. ඔබ කර ඇත්තේ අධිකරණයේ වටිනා කාලය කා දැමීමක් පමණයි.

පෙත්සම්කාර චමින්ද ලේනව මහතා- ස්වාමීනි, මෙය අධිකරණයෙන්ම වූ වැරැද්දක්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා- දුන් අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජනය ගන්න හදන්න එපා. තමන්ට නියමිත ස්ථානයට ගොස් කතා කරන්න. අදාළ ප්‍රශ්නයට පමණක් කතා කරන්න. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී මේ වන විට නීතියක් බවට පත්වී හමාරයි. ඒ සම්බන්ධයෙනත් අභියෝග කිරීමට දැන් ඔබට හැකියාවක් නැහැ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය  මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය දැන් තමුන් කියවන්න.

පෙත්සම්කාර චමින්ද ලේනව මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය මේ අවස්ථාවේදී මා ළග නැහැ. නමුත් 19වැනි සංශෝධනයේ 03වැනි ඡේදය සංශෝධනය විය යුතුයි.

ස්වාමීනී, ඒකයි මා කියන්නේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 03වැනි ඡේදය සංශෝධනය වී මේ වන විට එය නීතියක් වී හමාරයි. ඒ ගැන කතා කරන්න හෝ අභියෝග කරත්ත ඔබට හැකියාවක් නැහැ.

පෙත්සම්කාර චමින්ද ලේනව මහතා- ස්වාමීනි, මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක මා නඩුවක් ගොනු කළා. එම නඩුව සම්බන්ධයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්ත ජයවර්ධන මහතා ප්‍රශංසා කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා- ඒ නඩුවේ පිටපතක් ලබා ගත්තාද?

පෙත්සම්කරු-නැහැ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා-මේ සම්බන්ධයෙන් ඔච්චර උනන්දුවක් දක්වනවා නම් කරුණු අධ්‍යයනය කළ යුතුයි. ඒත් තමන් එසේ කළ බවක් පෙනෙන්නට නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තූරේරාජා මහතා- ඔබ කියන ඔය නඩුව ඇසූ විනිසුරු මඬුල්ලේ මමත් සාමාජිකයෙක්. ඒ නඩුවේ පිටපතක් මා ළඟ තියෙනවා. මා දන්නා තරමින් එහෙම දෙයක් වුණේ නැහැ. විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පැවසුවේ මේ නඩුව ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න කියලයි. එහෙම නැතුව එතුමා ඔබට ප්‍රශංසා කළේ නැහැ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා- දැන් ඔබගේ ස්ථාවරය කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය

සම්බන්ධයෙන් අර්ථකථනයක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බව දැන් ඔබ පිළිගන්නවාද?

පෙත්සම්කාර චමින්ද ලේනව මහතා- ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් මා එය පිළිගන්නවා.

ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා-

පෙත්සමකරුගේ මතය විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා සමාජ මාධ්‍යයන් ඔස්සේ සමාජගත කරන්න හදනවා. වැරදි මතයක් ජනගත වෙන්න පුළුවන්.

මේ අවස්ථාවේදී අධිකරණයේ කටයුතු විනාඩි 30කට කල්තැබිණ.විනාඩි 30ක කාලයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණ යළි රැස්වූ අවස්ථාවේදී පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කෙරිණ. රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් පෙත්සමිකරුගෙන් අයකර ගැනීමටද අධිකරණය නියම කළේය.පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කරුම අධිකරණයේ කරුණු දැක්වීය.

අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පී.පී. අරූල් ප්‍රගාශම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කේ. කනග් ඊෂ්වරන් මහතාද ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පිරිස් සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුද පෙනී සිටියහ. වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
බුද්ධිමාල් රුබේරු

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads