Global Platform For All Sri Lankans

Lanka Hit News

ක්ලබ් වසන්ත නොයෙන ගමන් යවන්න ඉනිමන් තැබූ, ටැටූ ආයතන හිමිකරුගේ පාපොච්චාරණය..

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 07 දෙනා මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන්, අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබංඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී පොලීසිය සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම, සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නැමැත්තා රහස් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්තෙන් සිටින බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමට පැමිණි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 08 වැනිදා උදෑසනයි.

පසුව, මෙම ඝාතනය සම්බන්ධයෙන් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නැමැත්තා අතුරුගිරිය පොලිසිය විසින් භාරයට ගැනුණා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සැලසුම් කළ බවට ඔහු පොලිසියට පාපෝච්චාරණය කිරීමත් සමග තවත් සැකකරුවන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් අහුංගල්ල, බලපිටිය, ගනේමුල්ල, අම්බලන්ගොඩ සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 24ත් 37ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් පැමිණි සුදු පැහැති මෝටර් රථය අම්බලන්ගොඩ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනාද ඒ අතරට අයත්.

මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු‍ම සැකකරුවන්ගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශ රටක සිට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයුම් මත මෙම සැකකරුවන් අපරාධයට ආධාර අනුබල දී ඇති බවයි.

සැකකරුවන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අතුරුගිරිය පොලිසියේදී ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු දුලාන් සන්ජුල පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණයක් සිදුකළා.

ඉන් අනතුරුවයි සැකකරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads