දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (11) මෙම අනතුරු සිදුව තිබුණේ පුනරීන්, උහන, ඇල්පිටිය සහ වරකාපොළ යන පොලිස් වසම්වලදී යි.
පුනරීන් සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් 27හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.
මේ අතර, තිස්සපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක් පසුකර යාමට ගත් උත්සාහයේදී මාර්ගය හරහා ගිය සුනඛයෙකු එහි ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් යතුරුපැදිය පැදවූ කාන්තාව ට්‍රැක්ටර් රථයට යටවීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටිය දී මියගොස් ඇති බව ද සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.
තවද, අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහපල්ලිය ආසන්නයේදී ඇල්පිටිය සිට අම්බලන්ගොඩ දෙසට ධාවන වූ බස් රථයකට යටවීමෙන් 41 හැවිරිදි අයෙක් මියගොස් තිබෙනවා.
මේ අතර, කොළඹ-නුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක පිටුපසින් ගැටීමෙන් පුද්ගලයන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස් රථය යතුරුපැදියේ ගැටීමෙන් පසු යතුරුපැදිය පෙරළී ගොස් රියදුරු සහ පසු පැදිකරු මාර්ගයේ ඇද වැටී බස් රථයේ ඉදිරිපස රෝදයට හසුවීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හා 43 හැවිරිදි වියේ පසුවූ මාතලේ සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.
තවද , කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුර සම්බන්ධව පේරාදෙණිය පොලීසිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර, මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.