චීනයේ ජනගහනය 2024 වසරේ අඛණ්ඩව තුන්වන වරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසා තිබෙනවා.
ඒ අනුව ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත චීනය තවදුරටත් ජනගහනය සම්බන්ධ අභියෝග කිහිපයකට මුහුණ පා සිටින බවයි කියන්නේ.
ඉන් එක් ගැටළුවක් නම් මේ වනවිට චීනය වයස්ගත ජනගහනයකට සහ වැඩ කරන වයස්වල පුද්ගලයින්ගේ නැගී එන හිඟයකට මුහුණ දෙමින් සිටීමයි.
2024 දී ජනගහනය බිලියන 1.408 ක් වූ අතර 2023 දී එය බිලියන 1.409 ක් වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එහිදී මිලියන 1.39 කින් ජනගහනය අඩුවී තිබෙන බව සඳහන්.
චීනය මීට වසර තුනකට පෙර ජපානය සහ නැගෙනහිර යුරෝපයේ ජනගහනය අඩු වන අනෙකුත් රටවල් අතරට එක් වූ අතර ඊට ප්‍රධාන වශයෙන් කොවිඩ් වසංගතය බලපෑ බව කියනවා.
ඊට අමතරව ජීවන වියදම ඉහළ යාම නිසා චීන තරුණ තරුණියන් උසස් අධ්‍යාපනය සහ වෘත්තීය කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීම හේතුවෙන් විවාහය සහ දරු උපත් කල් දැමීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යොමු වෙමින් සිටින තත්ත්වයකුත් පවතින බව වාර්තා වේ.
විශේෂඥයින් අනතුරු අඟවන්නේ උපත් මිලියන 9.54 දක්වා ඉහළ ගිය නමුත් මරණ සංඛ්‍යාව මිලියන 10.93 ක් වාර්තා වීමත්, ඉදිරි වසරවලදී මෙම ප්‍රවණතාවය වේගවත්වනු ඇති බවට කරන පුරෝකථනත් චීන ආර්ථිකයට අයහපත් බවයි.
කෙසේ නමුත් වැඩිහිටි සත්කාර සහ විශ්‍රාම ප්රතිලාභ සඳහා වන පිරිවැය ඉහළ යාම දැනටමත් චීන ආර්ථිකය මත අමතර ආතතියක් ඇති කර තිබෙන බවද සඳහන්.