පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී ඊයේ (17) නිවේදනය කරමිනුයි ඒ මහතා මේ බව පැවසුවේ.
ඒ අනුව, කථානායකවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස සිය සහතිකය සටහන් කර ඇති.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ මූලික අරමුණ වූයේ 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම බව සඳහන්.
2025.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත් 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබෙනවා.
ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත ද 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ඇති අතර එමගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තිය සංශෝධනය කිරීම අරමුණයි.
එහිදී මෙමගින් අරමුණු කරගෙන ඇත්තේ පනත් කෙටුම්පතට කරන ලද සංශෝධන සියයට දහයක ප්‍රතිශතයක් වන දළ එකතු 2023 අප්‍රේල් 1 සිට 2025 ඔක්තෝබර් 1 දක්වා වන කාල සීමාව සඳහා පමණක් අදාළ වන පරිදි සිමා කිරීම, බුකිකරුවෙකුගේ ව්‍යාපාරයක් හෝ සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින්ගෙන් දළ එකතුව මත බද්ද 2025 ඔක්තෝබර් 1 සිට සියයට දහඅට දක්වා වැඩි කිරීම සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන පුද්ගලයින්ගෙන් කැසිනෝ ප්‍රවේශ බද්ද අමෙරිකානු ඩොලර් සියයක් දක්වා වැඩි කිරීමයි.
2025.11.14 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත, 2008 අංක 14 දරණ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද අතර එම පනත් කෙටුම්පතද 2025.12.05 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවා.
එම සංශෝධන අතරට උපරිම බදු නිවාඩු කාලය අවුරුදු විසිපහේ සිට අවුරුදු දහය දක්වා අඩු කිරීම සහ ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා නව ක්‍රියාවලියක් අනිවාර්ය කිරීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් ව්‍යාපෘතියක් හඳුනාගෙන බදු විරාමයක් හෝ සහනයක් ලබාදීමට පෙර අනිවාර්ය පූර්ව- පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීම, ආයෝජන මණ්ඩලය විසින් පූර්ව-කාලීන අධීක්ෂණය සඳහා නව අවශ්‍යතා ස්ථාපිත කිරීම, ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට අනුකූල නොවීම සඳහා පරිපාලන දඩ මුදල් පැනවීමට හෝ නිදහස් කිරීම් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට ඇති අධිකාරිය ඇතුළුව, බදු ප්‍රකාශන ගොනු කිරීම අනිවාර්ය කිරීම, සහ මෙම ව්‍යාපෘති වලට අදාළ බදු වියදම් පිළිබඳ වාර්ෂික වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට මුදල් අමාත්‍යාංශය සඳහා අනිවාර්ය කිරීම ඇතුළත්.
ඒ අනුව එම පනත් කෙටුම්පත් තුන පිළිවෙලින් 2025 අංක 24 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත, 2025 අංක 25 දරණ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත සහ 2025 අංක 26 දරණ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇති.











