උණුසුම් පුවත්ව්‍යාපාරික

Deepfake වීඩියෝවලට එරෙහිව නව ආරක්ෂාවක් – නව හඳුනාගැනීමේ මෙවලමක් හඳුන්වා දෙන YouTube

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කරන Deepfake වීඩියෝ වැඩිවෙමින් පවතින අවස්ථාවේ, එවැනි වංචාකාරී වීඩියෝ හඳුනාගෙන ඉවත් කිරීමට නව නිදහස් මෙවලමක් හඳුන්වා දීමට YouTube තීරණය කර තිබෙනවා. මෙම මෙවලම විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලකයින් සඳහා ලබා දීමට නියමිතය.

YouTube හි මව් සමාගම වන Alphabet Inc. ප්‍රකාශ කළේ, මෙම මෙවලම “ප්‍රධාන පුවත් හා සමාජ සංවාදවල මධ්‍යයේ සිටින පුද්ගලයන්ගේ හැඳුනුම ආරක්ෂා කිරීම” අරමුණු කරගෙන නිර්මාණය කර ඇති බවයි.

මෙම නව පද්ධතිය මඟින්, AI භාවිතයෙන් නිර්මාණය කර ඇති පුද්ගලයන්ගේ Deepfake වීඩියෝ හඳුනාගැනීම සහ ඒවා ඉවත් කිරීම සඳහා පහසු ක්‍රමයක් ලබා දීමට හැකි වනු ඇත.

මෙම සේවාව භාවිත කිරීමට කැමති පුද්ගලයන්ට තමන්ගේ වීඩියෝ සහ රජයේ හැඳුනුම්පත සපයමින් ලියාපදිංචි වීමට සිදු වන අතර, ඉන් පසුව ඔවුන්ගේ මුහුණට සමාන වීඩියෝ හඳුනාගත් විට YouTube Studio හරහා දැනුම්දීමක් කරනු ලබයි. එවිට එම අන්තර්ගතය Flag කර ඉවත් කරන ලෙස ඉල්ලීමක් සිදු කළ හැක.

Google පැහැදිලි කර ඇත්තේ, මෙම ක්‍රියාවලියට ලබා දෙන තොරතුරු AI පුහුණුව සඳහා භාවිත නොකරන බවත්, එය සම්පූර්ණයෙන්ම Deepfake හඳුනාගැනීම සඳහා පමණක් යොදාගන්නා බවත්ය.

AI තාක්ෂණයේ වේගවත් වර්ධනයත් සමඟ යථාර්ථයට සමීප වීඩියෝ නිර්මාණය කිරීම පහසු වීම හේතුවෙන්, වැරදි තොරතුරු පැතිරීම සහ අන්තර්ජාල වංචා වර්ධනය වීමේ අවදානම වැඩි වී තිබෙනවා. ඒ නිසා මෙවැනි ආරක්ෂක මෙවලම් හඳුන්වා දීම ඩිජිටල් ලෝකයේ විශ්වාසය සහ ආරක්ෂාව තහවුරු කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.

YouTube පවසන්නේ, ඉදිරි මාසවලදී මෙම තාක්ෂණය තවත් පුළුල් පිරිසකට ලබා දීමට සැලසුම් කර ඇති බවයි

Shares: