නුගේගොඩ හා කොහුවල අතර මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක් බව පොලීසිය පවසනවා.
එය සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන බඩෝවිට අසංක නම් අයගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට සැකකරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඊයේ (22) රාත්‍රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණා.
වෙඩික්කරුවන් යතුරුපැදියකින් අදාළ ත්‍රිරෝද රථය ලුහුබැඳ ගොස් අනතුරුව ඔවුන් ත්‍රිරෝද රථය හරස්කර නවත්වායි වෙඩි ප්‍රහාර 3ක් එල්ලකර පලාගොස් ඇත්තේ.
පොලිසිය ප්‍රකාශ කළේ වෙඩි ප්‍රහාරය ත්‍රිරෝද රථයේ රියදුරු ඉලක්ක කර තබා ඇති අතර ඉන් ඔහුගේ දකුණු බාහුවට හා උදරයට තුවාල සිදුව ඇති බවයි.
පසුව තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි ඔවුන් පැවසුවේ.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි චන්දිම සචින්ත නම් 25 හැවිරිදි තරුණයෙක් වන අතර
ඔහු අපරාධකරුවකු බව කියන අවිශ්ක නැමැත්තාගේ සමීපතමයෙක් බව සඳහන්.
පොලිසිය කියා සිටියේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙකු බවත්, ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
තමන් ත්‍රිරෝද රථයෙන් සිය බිරිඳ රැගෙන ඒම සඳහා කොහුවලට යන අතරතුරදී තම ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියක් හඹාඑන බවට තමන් දුටු බව වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට පවසා තිබෙනවා.
පලාගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම වෙඩිතැබීම ඊයේ දිනයේදී සිදු වූ දෙවැනි වෙඩි තැබීම වන අතර ඒ සමඟ වසරේ මේ දක්වා කලය තුළදී වෙඩි තැබීම් 112ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.










