වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් ‘දැවැන්ත හා මාරාන්තික’ ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය ‘Truth Social’ හි සටහනක් තබමින් ට්‍රම්ප් IS සංවිධානය “ත්‍රස්තවාදී ජරාවක්” ලෙස විස්තර කර ඇති අතර එම කණ්ඩායම “ප්‍රධාන වශයෙන් අහිංසක කිතුනුවන් ඉලක්ක කර කුරිරු ලෙස ඝාතනය කරන” බවටයි චෝදනා කර ඇත්තේ.
එම ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බව ඔහු සඳහන් කරනවා.
පසුගිය නොවැම්බර් මාසයේදී නයිජීරියාවේ ක්‍රියාත්මක අයි. එස්. සටන්කාමීන් මර්දනය කරන බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබුණේ.
එවැනි පසුබිමක නත්තල යෙදී තිබූ ඊයේ දිනයේදී අමෙරිකාව, මෙලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ට්‍රම්ප් ප්‍රකාශ කොට ඇත්තේ “කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය” යනුවෙනුයි.
කෙසේ නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔහු ඉදිරිපත්කර නොමැති අතර, අමෙරිකානු හමුදාව ‘දැවැන්ත ප්‍රහාරයන් රැසක් සිදුකළ’ බව පමණක් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට සමෘද්ධිමත්වීමට ඉඩ නොදෙන බවත් ඔහු Truth Social හි සටහන් කොට තිබෙනවා.
මේ අතර අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා ඇත්තේ, මෙම ප්‍රහාරයට නයිජීරියානු රජයේ සහයෝගය ලැබුණු බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳ නයිජීරියානු රජය නිල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ඉන් සිදු වූ හානිය පිළිබඳවද නයිජීරියානු රජය හෝ අමෙරිකාව මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය දශකයකට වැඩි කාලයක සිට ඊසානදිග නයිජීරියාවේ දහස් ගණනක් මිනිසුන් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
අමෙරිකාව පසුගිය සතියේ සිරියාවේද ක්‍රියාත්මක IS ත්‍රස්තයන් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා.











