උණුසුම් පුවත්

ජනපති රාමඤ්ඤ සහ අමරපුර මහා නාහිමිවරු බැහැදකියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගත්තා.

ඊයේ (01) දහවල් ජනාධිපතිවරයා, මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරතවූයේ උන්වහන්සේ වැඩවසන මීරිගම, මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන වෙත ගොසිනුයි.

උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර නව වසරේ කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ආශිර්වාදය පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගත්තා.

වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ඊයේ පස්වරුවේ ගිය ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වී ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ එහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාදය පළ කර බවයි.

Shares: