පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව යන මහත්වරු විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
එහිදී අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ පිළිකා රෝහල තුළ පමණක් පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජිව මහතා,
”ලියාපදිංචි නැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ පවතිනවා. අපි දන්නේ නෑ මේ ඖෂධය ඇතුළේ තියෙන්නේ ඇල්වතුරද, බැක්ටීරියාද, ලුණු වතුරද කියලා”
යනුවෙනුයි ප්‍රකාශ කළේ.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා මෙහිදී පවසා සිටියේ ගෙන්වන බෙහෙත්වල ගුණාත්මකභාවය සහ එය ලියාපදිංචි කර ඇත්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම වන බවයි.











