දේශීය

නව ඖෂධ වර්ග 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම්

මෙම වසරේ දී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසනවා.

පෙති හා කරල් මිලියන 4000ක ප්‍රමාණයක් මෙම වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ජයන්ත විජයබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මේ වන විට ඖෂධ වර්ග 70ක් නිෂ්පාදනය කරන බවයි.

එමෙන්ම රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයට නුදුරින් ඉදිවෙමින් පවතින මහල් දෙකකින් යුත් ඖෂධ ගබඩා සංකීර්ණය ලබන මාර්තු මාසයේ විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එසේම විජයබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ ගබඩා සංකීර්ණයක් සහ ඖෂධ නිෂ්පාදන සහ ඇසුරුම් සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය පසුගිය වසරේ සිදුකිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති අතර එහිදී පෙති හා කරල් මිලියන 3625ක් මෙලෙස නිෂ්පාදනය කර තිබෙනවා.

එක් මාසයක් තුළ සිදුකළ වැඩිම ඖෂධ නිෂ්පාදනය වන පෙති හා කරල් මිලියන 385ක ප්‍රමාණය ගිය වසරේ මාර්තු මාසයේ නිෂ්පාදනය කර ඇති බව සඳහන්.

නව ඖෂධ නිෂ්පාදන 05ක් පසුගිය වසරේ දී වෙළෙඳපොළට හදුන්වා දී ඇති අතර වෛද්‍ය සැපයුම් අංශය ලබාදුන් සියලු ඇණවුම් හිඟයකින් තොරව සැපයීමට ද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කටයුතු කර ඇති.

2025 වර්ෂයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් බිලියන 27.06ක් ලෙස සටහන්ව ඇති බව ද එම සංස්ථව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වයි.

Shares: