කාළගුණය

වැස්ස ගැන කාලගුණෙන් නිවේදනයක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම අද (06) දිනයේ නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුර පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

Shares: