දේශීය

උපකාරක පන්ති පැවැත්වීම අද මැදියමේ සිට තහනම්

2025 උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කළේ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වන බවයි.

යම් අයෙකු හෝ ආයතනයක් අදාළ නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එවැනි දෙයක් සිදුවුවහොත් ඒ පිළිබඳ ළඟම පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය, 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හෝ 1911 ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය අමතන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සිදු වූ ආපදා තත්වය හේතුවෙන් උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් මේ මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2362ක දී පැවැත්වීමට නියමිතයි.

Shares: