දේශීය

5කට දිවි අහිමි කළ නීතිවිරෝධී මත්පැන්

වෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු අද (06) පෙරවරුවේ සැකකටයුතු ලෙස මියගොස් තිබූ අතර තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා.

ඔවුන් දෙදෙනා මීගමුව රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

නීතිවිරෝධී මත්පැන් යැයි සැක කෙරෙන දියරයක් මෙම මරණවලට හේතු වී ඇති බවට දැනට සැක පළ කෙරෙනවා.

වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ ඇඹරුම්හලක සේවකයන් පස්දෙනෙක් සැකසහිත ලෙස මියයාමේ සිදුවීමක් වාර්තාවූයේ අද පෙරවරුවේයි.

මීට දින දෙකකට පෙර මෙම පිරිස යම් දියරයක් පානය කර ඇති බව සඳහන් වනවා.

පසුව අවස්ථා කිහිපයකදී ඔවුන්ට යම් සංකූලතා මතුව ඇති බවයි පැවසෙන්නේ.

ඒ අතරින් දෙදෙනෙක් අද පෙරවරුවේ එම ඇඹරුම්හලේ පිහිටි කුටියක් තුළ මියගොස් සිට ඇති අතර තවත් තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.

මේ අතර එම ඇඹරුම්හල ආසන්නයේම තවත් නිවසක පුද්ගලයෙකුද අද පෙරවරුවේ අභිරහස් ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේම එම ප්‍රදේශයේම පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තවත් පුද්ගලයින් තිදෙනෙකු අද පෙරවරුවේ අසාධ්‍ය රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පොලිසිය ඔඅවසුවේ පසුව ඉන් දෙදෙනෙකුද මියගොස් ඇති බවයි.

මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින අතර නීතිවිරෝධී මත්පැන් පානය කිරීමක් මීට හේතු වන්නට ඇති බවට දැනට සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Shares: