දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (11) සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් ඇත්තේ මහනුවර පොලිස් වසමේ බෝගම්බර වටරවුම දෙස සිට බෝගම්බර බස් පර්යන්තයට ධාවනය වූ පුද්ගලික බස් රථයක් පදික මාරුව හරහා ගමන්ගත් කාන්තාවකගේ ගැටීමෙනුයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මහනුවර රෝහලට ඇතුළත් කිරීමේදීයි මෙලෙස මියගොස් ඇත්තේ.
අදාළ කාන්තාව වයස අවුරුදු 56ක් වූ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියෙක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම කොළඹ මහනුවර මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
පොලීසිය පැවසුවේ අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 81ක් වූ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එසේම මීගමුව – මීරිගම මාර්ගයේ ද ඊයේ (11) දිනයේ මාරක අනතුරක් සිදු වූවා.
ඒ පොත්තොඩ කනත්ත ඉදිරිපිටදී මාර්ගය හරහා ධාවනය වූ යතුරුපැදියක් හා මීගමුව දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙනුයි.
එහිදී යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවෙකු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවීතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක් වූ කඳවල, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර පුත්තලම – අට්ටවිල්ලුව අතුරු මාර්ගයේදී 06 කණුව දෙස සිට අට්ටවිල්ලුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මිය ගියා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක් වූ කදවල, අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරින් පසු ලොරි රථය එම ස්ථානයේ දමා රියදුරු පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.










