අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබෙනවා.
එම සංදේශයක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන්නේ ආණ්ඩුව යටතේ ද රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායක තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.
මේ ආකාරයේ දුර්වල හා ජනතාව, රට පිළිබඳ තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය සිදුවන්නේ රටට හා ජනතාවට බවද උන්වහන්සේ සංදේශය තුළින් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භික්‍ෂුන්ගෙන්, අන්‍යාගමික පුජකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් ලබාගෙන නොමැති බැවින් එය විනිවිදභාවයෙන් තොර බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ.
එබැවින් ප්‍රතිසංස්කරණ ගෙන ආ ක්‍රමවේදය මුල සිටම වැරදි සහගත බවත්, එහි වලංගුතාවයක් නොමැති බවත් අදාළ සංදේශයේ සඳහන්.
භික්ෂුවකගේ ඓතිහාසික යුතුකම ඉටු කරමින් එකී අනතුරින් රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බේරා ගැනීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඩිනමින් කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවද පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි යොමු කර ඇති සංදේශයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.










