කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (13) රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කර සිටිනවා.
- එළිමහනේ හෝ ගස්යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින්න.
- කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථන වල රැදී සිටීමෙන් වලකින්න.
- රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න.
- බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න.
- තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන්න.
- හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනා කරණ නිලධාරීන් ගේ සහාය පතන්න.










