පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව, අස්වැසුම සුභසාධන වැඩසටහනට හිමි පවුල්වල පාසල් ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6,000ක දීමනාවක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබාදීමට නියමිතයි.
එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන නමුත් මෙම දීමනාවට හිමිකම් තිබිය යුතු දිවයින පුරා පිහිටි සිසුන් 300ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, පිරිවෙන් හා සීලමාතා ආරාමවල ඉගෙනුම ලබන ගිහි සහ පැවිදි සිසුන්, සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් සඳහාද එක් අයෙකුට රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර තිබෙනවා.
මෙම පිරිස සඳහා අදාළ දීමනා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමටයි 2025 වර්ෂය තුළදී පියවර ගෙන ඇත්තේ.
එම වැඩසටහන 2026 වර්ෂය තුළද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිට විසින් ඉදිරිපත් කළ යෝජනාවයි.
මේ අතර 2025 වර්ෂයේ පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේ රු.6,000 ට අදාළ තිළිණපතට ලිපිද්‍රව්‍ය ලබාදීමේ කාලය 2026.01.30 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම 2026 වර්ෂයේ රු.3,000 ක පාවහන් තිළිණපත්වල සඳහා පාවහන් ලබාදීමේ කාලය ද 2026.02.15 දින දක්වා දීර්ඝ කර ඇති.










