හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා.
ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සමරනු ලබයි.
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ලබාදුන් ශක්තියට කෘතගුණ දැක්වීමයි තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරෙන්නේ.
අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ අගයයි.
හින්දු දින දර්ශකයෙහි අවුරුද්දේ මුල් මාසය හඳුන්වන්නේ, ”තෛ” යි යනුවෙන්.
පොංගල් යන්නෙන් ‘උදාවීම’ යන අරුත් ගන්වනවා.
ඒ අනුව හින්දු භක්තිකයින්ගේ නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ.
හිරු දෙවියන්ට තම වගාවෙන් නෙළාගත් පළමු අස්වැන්න පූජාකිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද මෙම උත්සවයේ දී සිදුකෙරෙනවා.
වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඬක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයක්.
එහිදී කිරි උතුරුවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරයි.
සොබාදහම සමග බද්ධව සිදුකරන පූජෝත්සව අතුරින් තෛයිපොංගල් උත්සවයට හින්දු බැතිමතුන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙනවා.
හිරු උදාවත් සමග හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් වල නිරතවනු දැකිය හැකියි.











