විදෙස්

ඕස්ට්‍රේලියාවට ප්‍රබල කුණාටුවක් – ජනජීවිතයට දැඩි බලපෑම්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු දිග වෙරළ තීරයට බලපෑ ප්‍රබල කුණාටු සහිත කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ගුගුරුම් සහිත වැසි සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා මහා සාගර මාර්ගය ඔස්සේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් කැරවාන් උද්‍යාන ජලයෙන් යට වී ඇති අතර මෝටර් රථ මුහුදට ගසාගෙන ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කළේ පැය කිහිපයක් ඇතුළත මිලිමීටර් 169ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇද හැලුණු බවයි.

ඊයේ දහවල් ප්‍රදේශය හරහා දැඩි වර්ෂාවක් සමඟ ඇති වූ කුණාටු තත්ත්වයකින් පසු Wye ගඟ, Kennett ගඟ, Cumberland ගඟ, Lorne සහ ඒ අවට ප්‍රජාවන්ට ආරක්‍ෂිත ස්ථානවල නවාතැන් ගන්නා ලෙසයි ඉල්ලා සිටියේ.

එමෙන්ම සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද දර්ශනවල Wye ගඟේ මුහුදට ගසාගෙන යන මෝටර් රථ තුනක් දර්ශනය වූ අතර, තවත් කිහිපයක් පාලමකට එල්ලා හෝ ගංවතුරට හසු වී තිබුණා.

ඕස්ට්‍රේලියානු රාජ්‍ය හදිසි සේවා (SES) පැවසුවේ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ බවට වාර්තා ලැබී නොමැති නමුත් ගංවතුර ජලයෙන් කැරවාන් උද්‍යාන යටවීම නිසා එහි සිරවී සිටි පුද්ගලයින්ට උපකාර කිරීමට කාර්ය මණ්ඩලයට සිදු වූ බවයි.

මෙම සුළි කුණාටුවත් සමඟ බොහෝ දෙනෙකුට ආරක්ෂාව වෙනුවෙන් උස් බිම් කරා යාමට සිදු වූ අතර එක් අයෙකු ගුවනින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඇති බවයි වාර්තා කරන්නේ.

Shares: