උණුසුම් පුවත්

ලොව විශාලතම Purple Star Sapphire මැණික කොළඹදී එළි දක්වයි..

 

ලොව විශාලතම ස්වභාවික දම් පැහැති (Purple Star Sapphire) ලෙස සැලකෙන “Star of Pure Land” මැණික කොළඹදී පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ (17) නිල වශයෙන් එළි දැක්වුණා.

මෙම මැණික කැරට් 3,536ක් බරින් යුක්ත බව සඳහන්.

මෙය අමෙරිකානු මැණික් විද්‍යායතනය (GIA) විසින් ස්වභාවිකව නිර්මාණය වූ, තාප පිරියම් නොකළ (Unheated) දුර්ලභ ගණයේ මැණිකක් ලෙස සහතික කර තිබෙනවා.

ලංකා මැණික් විද්‍යා රසායනාගාරය (LGL) මගින් ද මෙහි ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කර තිබෙනවා.

මෙම මැණිකෙහි දක්නට ලැබෙන කිරණ හයකින් යුත් තාරකාවක හැඩය (Six-ray asterism) ඉතා පැහැදිලිව සහ සමමිතිකව පිහිටා ඇති අතර, මැණිකේ මුළු මතුපිටම ඉතා අලංකාර ලෙස දිස්වීම විශේෂත්වයක්.

මෙය රවුම් කැබොෂොන් (Round Cabochon) ක්‍රමයට කපා නිමවා ඇති අතර, එම කැපුම සහිත ලොව විශාලතම ස්වභාවික දම් පැහැති Purple Star Sapphire මැණික මෙය‍යි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මෙම මැණිකේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300 සිට 400 දක්වා පමණ විය හැකි බවයි.

දැනට අමෙරිකාවේ ඇරිසෝනාහි පිහිටි ‘Tucson Masterpiece Gem Society’ ආයතනය මෙහි භාරකාරත්වය දරන අතර, “Star of Pure Land” ව්‍යාපෘතිය හරහා මෙහි ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කෙරෙනවා.

වසර මිලියන ගණනාවකට පෙර භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් හරහා නිර්මාණය වූ මෙම අගනා වස්තුව රත්නපුර ප්‍රදේශයෙන් හමු වී ඇති බවයි සඳහන්.

Shares: