උණුසුම් පුවත්

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් පිළිබඳව ජනපති සොයා බලයි

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳවයි විශේෂ අවධානය යොමු වූයේ.

ඒ අනුව, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය, QR ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම, ක්ලවුඩ් යටිතල පහසුකම් මධ්‍යස්ථානය පිහිටු වීම, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ලබා දීම සඳහා වූ ජාතික වැඩසටහන, Single window (තනි කවුළු) පහසුකම් ලබා දීම, ඩිජිටල් හැඳුනුම්පත ලබා දීමේ ව්‍යාපෘතිය සහ දඩ මුදල් ගෙවීම ඩිජිටල්කරණය සඳහා වූ ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු රහිත ආර්ථිකයක් ප්‍රවර්ධනය වෙනුවෙන් රජය සැලසුම් කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

ග්‍රාමීය ජනතාවගේ ආර්ථික කටයුතු බොහෝමයක් අවිධිමත් ක්ෂේත්‍ර ලෙස පවතින අතර එම කටයුතු විධිමත්ව ලේඛනගත කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉදිරි ආර්ථික සහ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී එය අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය, දත්ත ආරක්ෂණ අධිකාරිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරිත්වය, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්ද මෙහිදී විමසා බැලුනා.

එමෙන්ම රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආරම්භ කෙරුණු GovTech ආයතනයේ වත්මන් තත්ත්වය සහ නව බඳවා ගැනීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Shares: