කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 දක්වා වූ වසර 15ක කාලය තුළ සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එම කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ කාල සීමාව තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ තොරතුරු සහ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි.
දූෂණය, වංචාව සහ අපරාධමය විශ්වාසය කඩකිරීම, රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අවභාවිතය, නීති විරෝධී බඳවා ගැනීම් සහ පත්වීම්, ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි සිදුවූ උල්ලංඝනයන්, චංචල සහ නිශ්චල දේපළ බදු දීමේදී සිදුවූ අක්‍රමිකතා සහ නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදු කළ නීතිමය පියවර සහ පියවීම් පිළිබඳව මෙම කොමිසමෙන් විමර්ශනය කරනු ලබනවා.
හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරුයි කටයුතු කරන්නේ.
වර්තමාන සහ හිටපු දේශපාලන බලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම සේවා සපයන්නන්ට එරෙහිව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමටත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් කොමිසමට බලය පවරා තිබෙනවා.
ඒ අනුව මහජනතාවට, සංවිධානවලට හෝ ආයතනවලට තම පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිඛිතව ඉදිරිපත් කළ හැකියි.
මහජනතාවට, සංවිධානවලට සහ ආයතනවලට තම පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිඛිත පැමිණිලි අංක 152, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයේ පිහිටි කොමිසමේ ලේකම් වෙත ඉදිරිපත් කළ හැකි වනවා.
සියලුම ඉදිරිපත් කිරීම් 2026 පෙබරවාරි 23 වන දින හෝ ඊට පෙර ලැබිය යුතුයි.
පැමිණිලිවල පැමිණිලිකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් විය යුතු බව සඳහන්.
එසේම තම අනන්‍යතාවයන් රහසිගතව තබා ගැනීමට කැමති පැමිණිලිකරුවන්ට නිර්නාමිකභාවය ඉල්ලා සිටිය හැකියි.
වාචික ඉදිරිපත් කිරීම් කිරීමට කැමති අයට පෙබරවාරි 23 වන දින හෝ ඊට පෙර හමුවීමක් වෙන්කරවා ගැනීම සඳහා 011-230-1735 අංකයෙන් කොමිසම අමතන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.










