දේශීය

ප්‍රසන්නගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන්නැයි නියෝගයක්

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී සැකකාර ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට ආගමික කටයුත්තක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත්, ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඉල්ලා සිටියේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකඟතාවය පළ නොකරන බව කියා සිටියා.

අනතුරුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මීළඟ නඩු දිනය තෙක් ප්‍රසන්න රණතුංග මහතාට විදේශගතවීම සඳහා පනවා තිබූ තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන බවයි.

ඊට අමතරව ප්‍රසන්න රණතුංග මහතාට රුපියල් ලක්ෂ 50ක අමතර ශරීර ඇපයක් සහ ඔහුගේ ඇපකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර තිබෙනවා.

මෙම පැමිණිල්ල මාර්තු මස 27 වන දා යළි කැඳවීමටයි දින නියම කෙරුණේ.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Shares: