විදෙස්

ඉරාන අරගලයෙන් මැරුණු ගණන 25000ටත් වැඩි වේවි කියා අනතුරු ඇඟවීමක්..

 

ඉරානයේ මෑතක සිට පවතින විරෝධතාවලදී පුද්ගලයින් 5,002 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් 4,714 දෙනෙකුම විරෝධතාකරුවන් බව සඳහන්.

අන්තර්ජාලය විසන්ධි කර තිබීම නිසා සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවයි එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය (HRANA) පවසන්නේ.

මරණ සංඛ්‍යාව 25,000 දක්වා ඉහළ යා හැකි බවට නොර්වේ පදනම් කරගත් සංවිධානයක් අනතුරු අඟවා තිබෙනවා.

ඉරාන බලධාරීන් පවසන්නේ මරණ සංඛ්‍යාව 3,117ක් වැනි අඩු අගයක් බවයි.

විරෝධතාකරුවන් මරා දැමීම නතර කරන ලෙස ඇමරිකාව කළ ප්‍රකාශය ද ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විරෝධතා අතරතුරදී අවම වශයෙන් පුද්ගලයින් 26,852 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්.

ළමයින් ඇතුළු දහස් ගණනක් මියගිය විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් සහ ඉරානයේ කුරිරු මර්දනය අවසන් කරන ලෙස බලකරමින්, එරට පිළිබඳ පවත්වන විමර්ශන තවදුරටත් දැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඊයේ තීරණය කළා.

ඉරාන ආරක්ෂක අංශ විසින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව සිදු කළ පෙර නොවූ විරූ මට්ටමේ ප්‍රචණ්ඩකාරී මර්දනය පිළිබඳව සාමාජික රටවල් 47 දෙනෙකුගෙන් සමන්විත මෙම ආයතනය සිය බලවත් කනස්සල්ල පළ කර සිටිනවා.

මෙම තීරණය සඳහා ඡන්ද 25 ක් පක්ෂව ද, ඡන්ද 7 ක් විපක්ෂව ද හිමි වුණා.

සෙසු සාමාජිකයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මේ හරහා ඉරානය තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම සඳහා සාක්ෂි රැස් කරන ස්වාධීන විමර්ශකයන්ගේ නිල කාලය දීර්ඝ කිරීමට සහ ඔවුන්ගේ කාර්යභාරය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

 

Shares: