දේශීය

දකුණ මුහුදේ දී ඇල්ලූ යාත්‍රාවල මිලියන 4,500කට අධික වටිනා මත්ද්‍රව්‍ය

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක තුළ රුපියල් බිලියන 4.5 කට අධික වටිනා මත්ද්‍රව්‍ය ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

එම මත්ද්‍රව්‍ය තොගය කිලෝ 285කට වැඩි බවද සඳහන්.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම බහුදින ධීවර යාත්‍රාව තුළ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරමින් පවතින බවයි.

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.

පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා කියා සිටියේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 05දෙනෙක් සිට ඇති අතර අනෙක් යාත්‍රාවේ සිටි පුද්ගලයින් ගණන 06ක්.

ඔවුන් 11 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

Shares: