දේශීය

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශිරන්ති රාජපක්ෂට කැඳවීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනයේ මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ අද (27) පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

යහපාලන ආණ්ඩු සමයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පළමුවරට විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර තිබුණේ ඊයේ (26) දිනයේයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින අතරතුර ඊයේ පෙරවරුවේ මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ.

Shares: