උණුසුම් පුවත්

අද FCID එන්න බෑ – ශිරන්ති දැනුම් දෙයි

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසයි පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර තිබුණේ.

මෙම කැඳවීම සිදු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

කෙසේවෙතත් පෞද්ගලික හේතුවක් මත අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණීමට නොහැකි බවත්, ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

Shares: