විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාවලිය අවසන් කරන දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමට ඉල්ලුම් කර ඇති 2,000කට අධික පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමට රජය තීරණය කළ අතර එය ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබුණේ.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යූහය වෙනස් වන අතර එය සැළසුම් කර ඇත්තේ ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 6ක් යටතේ පවත්වාගෙන යාමටයි.
එම ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කළා.
එහිදී නව සමාගම් ව්‍යූහයට ඇතුළත් වීමට අකමැති සේවකයින් සඳහා හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ ඉංජිනේරුවන්, විගනණ නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරීන් ද ඇතුළු සේවකයින් 2,173 දෙනෙකු ඉල්ලුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස විශ්‍රාම යන සේවකයින් සඳහා වන්දි ලබාදීම සේවා කාලය මත පදනම්ව රුපියල් ලක්ෂ 9 සිට උපරිම ලක්ෂ 50 දක්වා වන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබුණා.
කෙසේවෙතත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇති සේවකයින්ගේ වැඩි පිරිසක් මේ වන විට වෙනත් රැකියා සහ විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කර ඇති බවත්, විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් මේ වන විට ඔවුන් ගැටලු රැසකට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.











