දේශීය

අමරකීර්ති අතුකෝරාල ඝාතන නඩුව- වරදකරුවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතිකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විශේෂ ත්‍රි-සාමාජික මණ්ඩලය විසින් නිකුත් කළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට වරදකරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ ඥාතීන් තීරණය කර තිබෙනවා.

අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු හමුවී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් සඳහන් කළේ, තමන් මුහුණ දී ඇති බව පවසන “අසාධාරණතාවය” පිළිබඳ ලිඛිත ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි. එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට කටයුතු කරන බවද ඔවුන් ප්‍රකාශ කර සිටියා.

වරදකරුවන් ලෙස තීරණය කළ පුද්ගලයෙකුගේ බිරිඳ මාධ්‍යයට ප්‍රකාශ කළේ, “අපිට සාධාරණ තීන්දුවක් ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට මේ මොහොතේ උදව් කරන්න කෙනෙක් නෑ. දරුවන් සමඟ මව්වරුන් බොහෝ දෙනෙක් දැඩි ලෙස පීඩාවට පත්වෙලා,” යනුවෙනුයි.

ඇය තවදුරටත් සඳහන් කළේ, ත්‍රි-සාමාජික අධිකරණ මණ්ඩලය නිකුත් කළ තීන්දුවට ගෞරවය පළ කරන නමුත්, එහි එක් විනිසුරුවරයෙකු විසින් චූදිතයින් නිදහස් කළ බවත්, එම තත්ත්වය ඔවුන්ට බලාපොරොත්තුවක් ලබාදෙන බවත්ය.

“අපිට තව අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අභියාචනය. අපේ එකම බලාපොරොත්තුව වන්නේ මෙම පුද්ගලයින් 12 දෙනා නිදහස් කර ගැනීමයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

මෙම නඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ නීති ක්ෂේත්‍රයේ විශාල අවධානයක් දිනාගත් අතර, ඉදිරි දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය නව මංසන්ධියකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ

Shares: