උණුසුම් පුවත්

ඉන්ධන ලබාගැනීමට නැවතත් QR කේත පද්ධතිය – මාර්තු 15 සිට අනිවාර්යයි

රට තුළ ඉන්ධන ඉල්ලුම ඉහළ යාම සහ ගෝලීය බලශක්ති තත්ත්වයන් හේතුවෙන් ඉන්ධන බෙදා හැරීම විධිමත් කිරීම සඳහා නැවතත් QR කේත පද්ධතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව, වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත පද්ධතිය 2026 මාර්තු 15 ඉරිදා පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක වන අතර, ලියාපදිංචි QR කේතයක් නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට නොහැකි වනු ඇත.

• ඉන්ධන සැපයුම් මත ගෝලීය බලපෑම්

අමාත්‍යාංශය සඳහන් කළේ, මැදපෙරදිග පවතින ගැටුම් තත්ත්වයන්—විශේෂයෙන් ඉරාන ඊශ්‍රායල යුධ ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් මාර්ගවල අස්ථාවරතාවක් පවතින බවයි.

එම තත්ත්වය සමඟ රට තුළ ඉන්ධන ඉල්ලුම ද වේගයෙන් ඉහළ යමින් පවතින බැවින්, පවතින ඉන්ධන සංචිත ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යාංශය අවධාරණය කරයි.

• නීතිවිරෝධී ගබඩා කිරීම මැඩපැවැත්වීමට පියවර

තවද, නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම සහ ජාවාරම් කිරීම හේතුවෙන් ඉල්ලුම වැඩිවීමක් සිදුවන බව හඳුනාගෙන ඇති අතර, එවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහාද මෙම QR කේත පද්ධතිය යළි ක්‍රියාත්මක කරන බව සඳහන් වනවා.

• QR කේතය ලබාගන්නේ කෙසේද?

ඉන්ධන ලබාගැනීමට වාහන හිමියන් [https://fuelpass.gov.lk/](https://fuelpass.gov.lk/) වෙබ් අඩවියට පිවිස QR කේතය ලබාගත යුතුය.

1. කලින් ලියාපදිංචි කර ඇති අය

* වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, 2026.03.14 මධ්‍යම රාත්‍රියේ සිට QR කේතය බාගත කළ හැක.

* හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇත්නම්, 2026.03.15 පෙ.ව. 6.00 සිට නැවත ලියාපදිංචි විය යුතුය.

2. නව ලියාපදිංචි වාහන සඳහා

* Department of Motor Traffic Sri Lankaහි ලියාපදිංචි වාහන හිමියන්ට 2026.03.15 පෙ.ව. 6.00 සිට වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැක.

• සතිපතා ඉන්ධන දීමනාව

රජය විසින් එක් එක් වාහන වර්ග සඳහා සතිපතා ඉන්ධන සීමාවන් ද නියම කර තිබේ.

* බස් රථ – ලීටර් 60

* යතුරුපැදි – ලීටර් 5

* මෝටර් කාර් – ලීටර් 15

* වෑන් රථ – ලීටර් 40

* මෝටර් ලොරි – ලීටර් 200

* ඉඩම් වාහන – ලීටර් 25

* ත්‍රිරෝද රථ – ලීටර් 15

* විශේෂ කාර්ය වාහන – ලීටර් 40

*බයිසිකල් – ලීටර් 5

එමෙන්ම නිෂ්පාදන කටයුතු සහ අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය වාහන සඳහා අදාළ ආයතන හරහා විශේෂ ඉන්ධන නිකුත් කිරීමේ යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Shares: