උණුසුම් පුවත්දේශීය

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය හමුවේ මාර්තු 15 වන දින සිට QR කේතය යටතේ කෝටා ක්‍රමයකට අනුව ඉන්ධන ලබා දීමට රජය කටයුතු කළේ, ඉදිරියේදී ඉන්ධන සැපයුම අඩුවීමක් සිදුවුවහොත් ඒ සඳහා පිළියමක් වශයෙනි.

මෙහිදී ඉන්ධන පරිභෝජනය කිරීම අවම කිරීම එහි අරමුණ වූ අතර, ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටි සමයේ ඉන්ධන නිකුත් කළ ආකාරයට ම QR කේතයක් මගින් ඉන්ධන ලබා දීම මෙහිදී සිදුවේ.

නමුත් බොහෝ දෙනෙකුට මෙම QR කේතය ලබා ගැනීමට නොහැකි වී තිබූ අතර, විශේෂයෙන් ම අදාළ වෙබ් අඩවියට ඇතුළු වී සිය දත්ත ඇතුළත් කළ නමුත් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට බොහෝ දෙනෙකුට සිදුව තිබිණි.

මාර්තු 17 වන දින නාවල, නුගේගොඩ හරහා මහරගම සිට පැලවත්ත දෙසට ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටි ඇතැම් අයට QR කේතය ලබා ගැනීමට නොහැකි වූ බව පැවසූහ.

තව ද එය ස්කෑන් කිරීමේදී ද ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබූ බව ද අසන්නට ලැබිණි.

මෙලෙස ජනතාව පොදුවේ QR කේතයක් ලබා ගැනීමේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන සුමුදු රත්නායකගෙන් විමසීමක් කරන ලදී.

එහිදී, බොහෝ දෙකෙනෙකුට QR සාදා ගැනීමට නොහැකි වූ හේතු සහ ඒවාට මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කිරීමක් කළේ ය.

01. QR කේතයක් ලබා ගැනීමට අත්‍යාවශ්‍ය දේවල් මොනවා ද?

ඉන්ධන QR කේතය ලබා ගැනීම සඳහා ඔබ විසින් https://fuelpass.gov.lk හරහා ලියාපදිංචි විය යුතු ය.

එහිදී එක් ජාතික හැඳුනුම්පත් අංකයක්, එක් දුරකතන අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙන්නේ එක් වාහනයකට පමණක් බවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක පැවසුවේ ය.

02. එක දුරකතන අංකයකට එක් වාහනයක් පමණක් ලියාපදිංචි කළ හැක්කේ ඇයි?

“එක ජංගම දුරකතන අංකයකින් සහ එක ජාතික හැඳුනුම්පත් අංකයකින්, එක වාහනයයි ලියාපදිංචි කරන්න පුළුවන්.”

“එතකොට කෙනෙක් අලුතෙන් ම මේකට ලියාපදිංචි වෙනවා නම් එයාගේ ජංගම දුරකතන අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය මීට කලින් කිසි ම විදිහකට මේ පද්ධතියේ ලියාපදිංචි වෙලා තියෙන්න බෑ. කලින් ලියාපදිංචි නොවුණ අංක දෙකක් නම් තියෙන්නේ එයාට කිසි ම බාධාවකින් තොරව ලියාපදිංචි වෙන්න පුළුවන්,” උපදේශකවරයා පවසයි.

03. කලින් පැවති QR කේතය පාවිච්චි කරන්න පුළුවන් ද?

පසුගිය ඉරිදා උදෑසන එනම් මාර්තු 15 වන දින සිට QR කේත සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය නිවේදනය කිරීමෙන් පසුව විවෘත කළ දත්ත පද්ධතිය, මීට පෙර 2023 වසරේ අගෝස්තු දක්වා වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා යොදාගත් QR කේත ලබා දුන් දත්ත පද්ධතියම බව උපදේශකවරයා පැවසුවේ ය.

“අපි එදා QR හරහා ඉන්ධන දීම නිවේදනය කරලා කියපු දේ තමයි අපට QR හරහා ඉන්ධන ලබා දෙන්න පුළුවන් වෙන්නේ 2023 අගෝස්තුවලින් පස්සේ ජංගම දුරකතන අංකය සහ වාහනය කියන දෙක ම වෙනස් නොකළ කෙනෙක්ට කියන එක.”

“2023 අගෝස්තු තමයි අපි අන්තිමට QR එකට ඉන්ධන දෙන එක නවත්තලා තියෙන්නේ. 2023 අගෝස්තුවලින් පස්සේ ඔයාගේ දුරකතන අංකය හරි වාහනය හරි වෙනස් වෙලා නැත්නම් ඔයාට ක්රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාගේ QR එක ඔයා ළඟ තියෙනවා නම් ඒක ම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සිස්ටම් එකට ලොග් වෙලා ආපහු QR එක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්,” අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක පැවසුවේ ය.

04. දුරකතන අංක වෙනස් කළ අය QR කේතය ලබා ගන්නේ කොහොම ද?

“2023 වසරෙන් පසුව එක ම වාහනය භාවිතය කළ ද ඒ වන විට භාවිතයේ තිබූ දුරකතන අංකය මේ වන විට තමන් සතුව නොමැති විශාල පිරිසක් ද සිටින බව නිරීක්ෂණය වී ඇතැයි” උපදේශකවරයා පැවසුවේ ය.

“ඒ අය අලුත් දුරකතන අංකයෙන් ලියාපදිංචි වෙන්න හැදුවට වැඩක් නෑ, ජාතික හැඳුනුම්පත් අංකය දාපු ගමන් එනවා ඒක පද්ධතියේ තියෙන එකක් කියලා. මොක ද එයාගේ තොරතුරු ඒ වෙනකොටත් පද්ධතියේ තියෙනවා,” ඔහු පැවසුවේ ය.

එලෙස දුරකතන අංක වෙනස් කර ඇති පිරිස මිලියන 2කට ආසන්න බව ද ඔහු කියා සිටියේ ය.

“ඊට පස්සේ අපි කරපු දේ තමයි කලින් ලියාපදිංචි වෙලා තියෙන සියලු ම ජංගම දුරකතන අංක අපි ඩයලොග්, හච් සහ මොබිටෙල් කියන සමාගම්වලට යැව්වා. ඒ සමාගම්වලින් අපි වාර්තාවක් ඉල්ලුවා ඒ අංකවලින් මේ වෙද්දී භාවිතයේ නැති අංක මොනව ද, ඉවත් කරලා තියෙන අංක මොනවා ද, හිමිකාරීත්වය වෙනස් කරලා තියෙන අංක මොනවා ද කියලා,” ඔහු පැවසුවේ ය.

“පෙරේදා වෙනකන් ඒ අයට ප්‍රශ්න ටික තිබුණා. අපට වාර්තාව ආපු ගමන් අපි ඒ දුරකතන අංකවලින් තියෙන ගිණුම් ඔක්කොම පද්ධතියෙන් ඉවත් කළා. ඒ අනුව, ඒ අයට දැන් පුළුවන් අලුතෙන් ම ලියාපදිංචි වෙන කෙනෙක් විදිහට පද්ධතියේ ලියාපදිංචි වෙන්න. එක ම වාහනේ තිබිලා දුරකතන අංකය මාරු වුණ අයට මේක තමයි අපි දීලා තියෙන විසඳුම,” උපදේශකවරයා විස්තර කළේ ය.

භාවිත කරපු කෙනා කවුද කියලා. නමුත් මේ වාහනේ ආපහු ලියාපදිංචි කරන්න දෙන්නෙත් නෑ, මොක ද ඒක දැනටමත් ලියාපදිංචි කරලා කියලා පෙන්වන නිසා,” ඔහු විස්තර කරයි.

“ඒ වගේ අවස්ථාවකදී ඒ අයට පුළුවන් 1919 අමතලා රාජ්‍යය තොරතුරු කේන්ද්‍රයේ සහය ලබා ගන්න. ඒ අංකයට කතා කරලා දැනුම් දුන්නට පස්සේ එයාලා තොරතුරු තහවුරු කරලා ඒ දත්ත ටිකත් පද්ධතියෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. එතකොට ඒ අයට අලුතෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්.”

එමෙන් ම, 1919 අංකය සම්බන්ධ කර ගැනීමට නොහැකි අය වෙනුවෙන් whatsapp අංකයක් ද ඉදිරියේදී හඳුන්වා දෙන බව ද උපදේශකවරයා පැවසුවේ ය.

“මේ ක්‍රමවේදයේ අරමුණ ඉන්ධන භාවිතය අඩු කරන එක නේ. ඒ නිසා එක හැඳුනුම්පත් අංකයක් සහ එක දුරකතන අංකයකට ලියාපදිංචි කරන්න පුළුවන් එක වහනයක් විතර යි.”

කෙසේ වෙතත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකවරයා පැවසුවේ, අවශ්‍යය නම් පවුලේ වෙනත් අයෙකුගේ දත්තවලින් එම ලියාපදිංචි කිරීම සිදු කිරීමට හැකි බව ය.

Shares: