ශ්‍රී ලංකාවේ නැව් තැනීමේ කර්මාන්තයට නව පියවරක් එක් කරමින්, 2026 මාර්තු මාසයේදී Misje Eco Bulker නව නිර්මාණ මාලාවේ 10 වන සහ අවසාන නෞකාව කොළඹ ඩොක්යාර්ඩ් විසින් සාර්ථකව භාර දෙන ලදී. “මිස්ජේ මහනුවර” ලෙස නම් කළ මෙම නවීන නෞකාව, ශ්‍රී ලංකාවේ කාර්මික හැකියාවන් ලෝකයට හෙළි කරන අභිමානවත් සංකේතයක් බවට පත්ව තිබෙනවා.
මෙම නෞකාව භාරදීමේ උත්සවයෙහිදී,
කොළඹ ඩොක්යාර්ඩ් කළමනාකාර අධ්‍යක්ෂ තිමිර එස්. ගොඩකුඹුර මහතා සහ
නෝර්වේහි Misje Eco Bulk AS හි හිමිකරු රෝල්ඩ් මිස්ජේ මහතා අතර
භාරදීමේ ගිවිසුම හුවමාරුව සිදුව තිබෙනවා.
උත්සවයට ඉන්දීය මහ කොමසාරිස්, වරාය හා ගුවන් සේවා අමාත්‍යවරු, ආර්ථික සංවර්ධන නියෝජිතයින්, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී තිබෙනවා.
“මිස්ජේ මහනුවර” නෞකාව නම් කිරීමත් සමඟ,
ශ්‍රී ලාංකික සම්ප්‍රදායන්ට අනුව කිරි උතුරවා,
බටහිර සම්ප්‍රදාය අනුව ෂැම්පේන් බෝතලය විවෘත කිරීමද චාරිත්‍රානුකූලව සිදු කරන ලදී.
මෙම නෞකාවේ දිග මීටර් 89.95 ද, පන්තිය, DNV Eco Bulker වන අතර මෙහි විශේෂත්වය විද්‍යුත්-දෙමුහුන් (Hybrid) ප්‍රචාලන පද්ධතියක් වීමයි. ESS (Energy Storage System) නිසා පාරිසරික බලපෑම අඩු කිරීමද මෙහි විශේෂත්වයක්.
මෙය නවීන, පරිසර හිතකාමී නැව් තාක්ෂණයේ නව මුහුණුවරක් ලෙස සැලකිය හැකිය.
2020දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය,කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුද, ගෝලීය සැපයුම් දාම බාධා සහ කලාපීය යුද්ධ වැනි අභියෝග මධ්‍යයේ සාර්ථකව නිම කිරීම,
කොළඹ ඩොක්යාර්ඩ්හි කැපවීම හා අභියෝග ජය ගැනීම පිළිබිඹු කරනවා.
මෙම නෞකාව,ජාතික අපනයන ආදායම වැඩි කිරීම, විදේශ විනිමය,ආදායම ශක්තිමත් කිරීම වැනි අංශවලට වැදගත් දායකත්වයක් ලබා දීමට නියමිත යි.









