2019 පාස්කු ඉරුදින ශ්‍රී ලංකාව කම්පනයට පත් කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (29) සිදු වූ නඩු විභාගයේදී, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් දැඩි ආන්දෝලනයක් ඇති කළ ප්‍රකාශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කළේ, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ දැන සිටි බව තමන් විශ්වාස කරන බවයි. එමෙන්ම, එම තොරතුරු සැඟවීමටද නිලන්ත ජයවර්ධන කටයුතු කළ බව ඔහු චෝදනා කර තිබෙනවා.
විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කළ හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ, ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වීමේ “පව” නිසා තමන් මේ නඩුවට ඇද වැටී ඇති බවයි.
“වගකිව යුත්තන් තවමත් නිදැල්ලේ. මම ඉදිරිපත් කරන කරුණු නිසි ලෙස අධ්‍යයනය කළා නම්, මේ නඩුව මට පවරන්නේ නැහැ,” යනුවෙන් ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
හේමසිරි ප්‍රනාන්දු අනාවරණය කළ තවත් බරපතළ කරුණක් වූයේ, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ පොලිස්පතිවරයා සහභාගී වීම තහනම් කර තිබූ බවයි.
ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී,
“ඕකුන් එකෙක්වත් එක්ක මට වැඩ කරන්න බෑ. ඕකුන් එකෙක්වත් ගන්න එපා,” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, 2019 අප්‍රේල් 20 වනදා රාත්‍රියේ නිලන්ත ජයවර්ධන තමන්ට WhatsApp පණිවිඩයක් එවා ඇති බවයි. එම පණිවිඩයේ,
මරාගෙන මැරෙන ප්‍රහාර 8ක්, ඉන්දියානුවන් වැඩිපුර ගැවසෙන හෝටල් සහ දේවස්ථාන කිහිපයක් ඉලක්ක වී ඇති බව සඳහන්ව තිබූ බව ඔහු හෙළි කර තිබෙනවා.
එම තොරතුරු පිළිබඳ විශ්වසනීයත්වය ගැන විමසූ විට, “මූලාශ්‍ර විශ්වාසදායකයි” යනුවෙන් නිලන්ත ජයවර්ධන පැවසූ බවද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කර තිබුණා.
අප්‍රේල් 21 උදෑසන 8.00ට පමණ නිලන්ත ජයවර්ධන තමන් අමතා “මෙතෝදිස්ත පල්ලිය කොහෙද?” යනුවෙන් විමසූ බවත්, මිනිත්තු 5–10ක් ඇතුළත බෝම්බ පිපිරීම් පිළිබඳ වාර්තා ලැබුණු බවත් ඔහු පැවසීය.
ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුවේ සිටි බවත්, ඔහු දුරකථනයෙන් අමතා, “අගමැතිවරයා රැස්වීමක් කැඳවලා තියෙනවා. ඒකට යනවා එහෙම නෙවෙයි,”යනුවෙන් තමන්ට උපදෙස් දුන් බවත් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබෙනවා.
තමන්ට නිසි බුද්ධි වාර්තා ලබා නොදුන් බව පවසමින්, ජාතික ආරක්ෂාව සම්බන්ධ සියලු තීරණ සහ තොරතුරු ජනාධිපතිවරයා සහ බුද්ධි අංශ ප්‍රධානීන් අතර පමණක් පැවති බවත්, ආරක්ෂක ලේකම්වරයා “අඳුරේ” තබා තිබූ බවත් ඔහු අධිකරණයේදී පවසා තිබෙනවා.
මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වන අතර, විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ ප්රමුඛ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටිනවා.










