ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තවත් තීරණාත්මක මොහොතක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත් කර තිබෙනවා.
අද (අප්‍රේල් 29) ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් අදාළ පත්වීම් ලිපි නිල වශයෙන් ප්‍රදානය කළ අතර, මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ නව ආරම්භයක් ලෙස දේශපාලන සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා.
මෙම පත්වීම සිදුවන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ විධායක කමිටුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. ඒ අනුව, නව නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත් කරන තෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පාලන හා තීරණ ගැනීමේ බලය මෙම අතුරු කමිටුව වෙත පැවරේ.
අතුරු කමිටුවේ ප්‍රබල සාමාජිකයින්
නව අතුරු කමිටුව සඳහා ක්‍රිකට් ලෝකයේ අත්දැකීම් සහිත හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් එක් කර තිබීම විශේෂත්වයක්.
කමිටුවේ සාමාජිකයින් ලෙස,
සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ටර්, අවන්ති කොළඹගේ, ඩිනාල් ෆිලිප්ස්
යන අය පත් කර තිබෙනවා.
“මේක ක්‍රිකට් පරිවර්තන කමිටුවක්” – ක්‍රීඩා අමාත්‍යවරයා
නව කමිටුව පිළිබඳ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙය සාමාන්‍ය පාලක කමිටුවක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ “Transformation” එකක් සිදුකිරීමට පත් කළ විශේෂ කණ්ඩායමක් බවයි.
ඔහු අවධාරණය කළේ, අතීතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ ගෞරවනීය ස්ථානයකට ගෙනගිය ජයග්‍රාහී සංස්කෘතිය නැවත ගොඩනැගීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ බවයි.
නැවතත් ලෝක කුසලාන සිහිනයකට?
වසර කිහිපයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, තේරීම්, සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විවේචන රැසක් එල්ලවූ පසුබිමක, මෙම නව පත්කිරීම් ක්‍රිකට් රසිකයින් අතර බලාපොරොත්තුවක් ඇති කර තිබෙනවා.
විශේෂයෙන් කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුනි වැනි ක්‍රීඩාව හොඳින් අවබෝධ කරගත් චරිත එක්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව දිශාවක් ලබාදේවියැයි දැන් බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි.









