විදෙස්

වසර 15කට පසු වියට්නාම ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ! ඉතිහාසගත රාජ්‍ය සංචාරය අද විශේෂ අවධානයට

තෙදින නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (07) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ සභාපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ජනාධිපති ටෝ ලැම් මහතාගේ පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (08).

සාමාජිකයින් 209 දෙනෙකුගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් සමඟ පැමිණි වියට්නාම ජනාධිපතිවරයා, ඊයේ රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ අතර, මෙම සංචාරය දෙරට අතර සබඳතා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙනවා.

අද පෙ.ව. 11.05 ට පමණ ජනාධිපති ටෝ ලැම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ සභාව ඇමතීමට නියමිත අතර, එය දේශපාලන හා ආර්ථික වශයෙන් වැදගත් පණිවිඩ රැසක් ගෙන එනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මෙම සංචාරය සිදුවන්නේ, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සම්පූර්ණ වීම නිමිත්තෙනුයි.

එමෙන්ම, 2025දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ කළ රාජ්‍ය සංචාරයේදී කළ ආරාධනයකට අනුව මෙම සංචාරය සංවිධානය කර තිබෙනවා.

ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන ඇති වියට්නාමය, ගෝලීය නිෂ්පාදන හා ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ද සැලකෙනවා.
එබැවින්, ජනාධිපති ටෝ ලැම් මහතාගේ මෙම සංචාරය දෙරට අතර ආර්ථික සහයෝගීතාව, වෙළෙඳ හා ආයෝජන, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍ර, අධ්‍යාපන හා තාක්ෂණික හුවමාරු
තවදුරටත් ශක්තිමත් කිරීමට විශාල අවස්ථාවක් වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

වසර 15කට පසු වියට්නාම ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ, ආසියානු කලාපීය සබඳතා නව මංපෙත් කරා ගමන් කරන සුවිශේෂී මොහොතක් ලෙස මෙම සංචාරය ඉතිහාසගත වනු ඇත.

Shares: