ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කළද, එතෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත සහ වලාකුළුබර කාලගුණ තත්ත්වයක් බලපානු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.
මිලිමීටර් 150 ඉක්මවන ඉතා තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි අපේක්ෂා කෙරෙනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් දේපළ හානි සහ අනතුරු ඇතිවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවද අවධාරණය කර තිබෙනවා.
අධික වැසි හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජල ගැලීම් සහ කඳුකර ප්‍රදේශවල නායයෑම් අවදානම ඉහළ යා හැකි බැවින් අනවශ්‍ය ගමන් සීමා කරන ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම අකුණු සහ තද සුළං පවතින අවස්ථාවල විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසද දැනුම් දී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස මහජනතාවට කාරුණිකව දැනුම් දී තිබෙනවා.











