විදෙස්

අග්නිදිග ආසියාවේ විශාලතම ඩයිනෝසෝරයා තායිලන්තයෙන් විද්‍යාඥයින් විසින් සොයා ගැනේ

වසර මිලියන 140ක ඉතිහාසයක් කියන දැවැන්ත “නාගටයිටන්” : උණුසුම් පෘථිවියක ජීවත් වූ අතිවිශාල සෞරෝපොඩ් යෝධයා අග්නිදිග ආසියාවේ විශාලතම ඩයිනෝසෝරයා තායිලන්තයෙන් විද්‍යාඥයින් විසින් සොයා ගැනේ

පෘථිවියේ ඩයිනෝසෝර යුගය ගැන නවතම විද්‍යාත්මක හෙළිදරව්වක් ලෙස “නාගටයිටන්” නම් දැවැන්ත සෞරෝපොඩ් ඩයිනෝසෝරයා පිළිබඳ තොරතුරු මේ වනවිට ලෝක විද්‍යා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ මෙම සෞරෝපොඩ් කණ්ඩායම වසර මිලියන 140 කට පමණ පෙර ආරම්භ වී පෘථිවිය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ බවයි. කාලයත් සමඟ ලොව පුරා බොහෝ ඩයිනෝසෝර කණ්ඩායම් අතුරුදන් වූ අතර, වසර මිලියන 90 කට පමණ පෙර පෘථිවියේ ඉතිරිව සිටි ප්‍රධාන සෞරෝපොඩ් වර්ගය බවටද මේ කණ්ඩායම පත්ව තිබුණු බවයි.

මෙම යෝධ ජීවීන් පෘථිවියේ ආධිපත්‍යය දරමින් සිටියේ වසර මිලියන 66 කට පෙර ග්‍රහක ගැටුමක් හේතුවෙන් ඩයිනෝසෝර යුගය අවසන් වන තෙක්ය.

නාගටයිටන් ජීවත් වූ සමය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවන්නේ එම කාලයේ පෘථිවියේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම් ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙනි. ඒ සමඟම ගෝලීය උෂ්ණත්වයද ඉහළ ගොස් තිබූ බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

පැලියොන්ටොලොජි විද්‍යාඥ අප්චර්ච් පවසන්නේ, මෙම කාලය තුළ සෞරෝපොඩ් ඩයිනෝසෝරයන් අතිවිශාල ශරීර ප්‍රමාණයන් කරා වර්ධනය වූ බවයි.

“දකුණු ඇමරිකාව, චීනය, උතුරු අප්‍රිකාව සහ දැන් අග්නිදිග ආසියාව තුළ පවා දැවැන්ත සෞරෝපොඩ් ජීවත් වූ බව පෙනී යනවා. නාගටයිටන් එහි තවත් විශාල සාක්ෂියක්,” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

විද්‍යාඥයින්ගේ මතය වන්නේ ඉහළ ගෝලීය උෂ්ණත්වය සහ සෞරෝපොඩ් වල දැවැන්ත ශරීර ප්‍රමාණය අතර සම්බන්ධතාවයක් පැවතිය හැකි බවයි.

උෂ්ණත්වය ඉහළ යාම ශාක වර්ධනයට සහ ආහාර පද්ධතිවලට බලපෑම් කළ අතර, ඒ හේතුවෙන් ශාකභක්ෂක දැවැන්තයන් වූ සෞරෝපොඩ් ඩයිනෝසෝරයන්ට අවශ්‍ය විශාල ආහාර ප්‍රමාණය ලබා ගැනීමට පහසු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

අප්චර්ච් පෙන්වා දෙන්නේ නාගටයිටන් මගින් වසර මිලියන 10 සිට 15 දක්වා කාලය තුළ සෞරෝපොඩ් ශරීර ප්‍රමාණය සහ පෘථිවි උෂ්ණත්වය එකවර ඉහළම මට්ටමට පැමිණි යුගයක් පිළිබඳ වැදගත් දර්ශනයක් ලබාදෙන බවයි.

අද වනවිට සොයාගත් ඇටසැකිලි සහ භූ විද්‍යාත්මක සාක්ෂි මඟින් පැහැදිලි වන්නේ, නාගටයිටන් වැනි සෞරෝපොඩ් යෝධයන් පෘථිවියේ අවසන් දැවැන්ත ශාකභක්ෂකයන් අතරින් ප්‍රධාන ස්ථානයක් ගත් බවයි.

ඔවුන්ගේ ඉතිහාසය පෘථිවියේ දේශගුණික වෙනස්කම්, ජීවී විකාශනය සහ සමූහ විනාශයන් අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය පිළිබඳ අදටත් විද්‍යාඥයින්ට අලුත් ප්‍රශ්න රැසක් ඉතිරි කර තිබෙනවා.

 

Shares: