ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය යළිත් ඉහළ යාමක් වාර්තා වී ඇති අතර, අද (15) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 331 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 323.53 ක් ලෙස සටහන් වූ අතර, විකුණුම් අනුපාතය රු. 331.15 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙය 2023 දෙසැම්බර් 5 වනදායින් පසු ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 323 ඉක්මවා ගිය සහ විකුණුම් අනුපාතය රු. 331 සීමාව පසු කළ පළමු අවස්ථාව ලෙස වාර්තා වනවා.
එදින ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 323.00 ක් ලෙසත්, විකුණුම් අනුපාතය රු. 333.20 ක් ලෙසත් වාර්තා වී තිබුණා.
ඒ අනුව, වසර දෙකකට අධික කාලයකට පසු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත දෙකම නැවත මෙම මට්ටම් කරා පැමිණීම විදේශ විනිමය වෙළඳපොළේ විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.
ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ ආනයනික භාණ්ඩ මිල, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල පිරිවැය කෙරෙහි බලපෑම් ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම විදේශ විනිමය වෙළඳපොළේ සිදුවන මෙම වෙනස්කම් ආර්ථික ස්ථාවරත්වය සහ ජීවන වියදම පිළිබඳ ජනතා අවධානය යළිත් යොමු වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරි දිනවල ගෝලීය වෙළඳපොළ, ආනයන ඉල්ලුම සහ දේශීය ආර්ථික තත්ත්වයන් අනුව ඩොලරයේ ගමන් මඟ තීරණය වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.











