අප්‍රිකාවේ මාරාන්තිකම වෛරස් රෝගයක් ලෙස සැලකෙන ඉබෝලා වෛරසය යළිත් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිර යාමක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන Africa CDC විසින් කොංගෝවේ නැගෙනහිර ඉටුරි පළාතේ ඉබෝලා පැතිරීමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මේ වනවිට රෝගීන් 246 ක් සහ මරණ 65 ක් වාර්තා වී තිබෙනවා.
ප්‍රධාන වශයෙන් රන් කැණීම් සිදුකරන මොන්ග්වාලු සහ රුවම්පරා නගරවල මෙම රෝග ව්‍යාප්තිය වේගයෙන් වාර්තා වන බව සඳහන් වනවා.
ඉබෝලා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොංගෝ, උගන්ඩාව, දකුණු සුඩානය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ හදිසි සාකච්ඡාවක් කැඳවීමට නියමිත බව Africa CDC ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන් දේශසීමා නිරීක්ෂණ, රෝග පාලන වැඩපිළිවෙළ සහ හදිසි ප්‍රතිචාර මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු කෙරෙන බවද සඳහන් වනවා.
ඉබෝලා වෛරසය ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 1976 වසරේදී වර්තමාන කොංගෝ රාජ්‍යයෙන් වන අතර, එය වවුලන්ගෙන් මිනිසුන් වෙත පැතිරුණු බව විශ්වාස කෙරෙනවා.
මෙය කොංගෝ රාජ්‍යයේ වාර්තා වූ 17 වන ඉබෝලා වසංගතයයි.
වෛරසය ශරීර තරල සමඟ සෘජු සම්බන්ධතා මඟින් පැතිරෙන අතර, දැඩි රුධිර වහනය, අවයව අක්‍රිය වීම සහ මරණයට පවා හේතු විය හැකියි.
ඉබෝලා රෝගයේ මුල් ලක්ෂණ ලෙස,
උණ, මාංශ පේශි වේදනාව, අධික තෙහෙට්ටුව, හිසරදය, උගුරේ අමාරුව වැනි තත්ත්වයන් හඳුනාගෙන තිබෙනවා.
මේ වනවිට ඉබෝලා සඳහා සම්පූර්ණ ප්‍රතිකාරයක් නොමැති අතර, රෝගය පාලනය කිරීම සඳහා ඉක්මන් හඳුනාගැනීම සහ හුදකලා කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
කිංෂාසා අගනුවර පිහිටි Institut National de Recherche Biomédicale (INRB) ආයතනයේ සිදු කළ මූලික පරීක්ෂණවලදී විශ්ලේෂණය කළ සාම්පල 20 න් 13 කින් ඉබෝලා වෛරසය තහවුරු වී ඇති බව වාර්තා වනවා.
මරණ 65 න් හතරක් රසායනාගාර තහවුරු කළ රෝගීන් අතරින් වාර්තා වී ඇති බවද Africa CDC සඳහන් වනවා.
ඉටුරි පළාත 2021 සිට හමුදා පාලනය යටතේ පවතින අතර, සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වයද අර්බුදකාරී බව සඳහන් වනවා.
එම කණ්ඩායම් අතර ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට අනුබද්ධ “ADF” සංවිධානයද ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගිය වසර 50 තුළ විවිධ අප්‍රිකානු රටවල ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
කොංගෝවේ මාරාන්තිකම වසංගතය 2018 සිට 2020 දක්වා පැවති අතර, එම කාලය තුළ පුද්ගලයින් 2,300 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය වසරේ මධ්‍යම කසායි පළාතේ පැතිර ගිය වසංගතයකින්ද පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබුණා.
ලෝක සෞඛ්‍ය අංශ දැන් අවධානය යොමු කරන්නේ මෙම වසංගතය තවත් රටවල් වෙත පැතිර යාම වැළැක්වීම සහ ඉක්මන් පාලන ක්‍රියාමාර්ග ගැනීම වෙතයි.











