ක්‍රීඩා

බ්ලූස් පිට පිටම දෙවැනි පරාජයත් ලබති

බ්ලූස් පිට පිටම දෙවැනි පරාජයත් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ලීගයේ දෙවැනි දිනය වූ අද (08 දා) පැවැති තරගයේදී බ්ලූ කණ්ඩායමට එරෙහිව එහෙිව ජය වාර්තා කිරීමට ග්‍රේස් කණ්ඩායම සමත්විය. කොළඹ එස් එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 24 ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙය බ්ලූස් කණ්ඩායම පිට පිටම ලද දෙවැනි තරග පරාජය ලෙසින්ද සනිටුහන් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් වාර්තා කිරීමට සමත්වූවේය. එය මෙවර තරග වාරයේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. එම ඉලක්කය හඹා යෑමේදී දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුතු බ්ලූස් කණ්ඩායමට නියමිිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණි.

එම ලකුණු හඹා යෑමේදී ග්‍රේස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වූ පැතුම් නිස්සංක සහ විශේන් හැළඹගේ වේගවත් ආරම්භයක් ලබා ගත් අතර නමුත් මැද පෙළ පිතිකරුවන්ට අවශ්‍ය වේගය රඳවා ගැනීමට නොහැකි විය. දෙවැනි කඩුල්ල ලෙසින් හැළඹගේ දැවී යන විටත් බ්ලූස් කණ්ඩායම හය වැනි පන්දුවාරයේදී ලකුණු 10 කට වඩා වැඩි වේගයක් රඳවාගෙන සිටියේය.

මෙහිදී පැතුම් පන්දු 16 කදී ලකුණු 20 ක් රැස් කරද්දී හැළඹගේ පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 35 ක් රැස් කර සිටියේය. මැද පෙළින් පැමිණී දසුන් ශානක පන්දු 22 කදී ලකුණු 31 ක් රැස් කළ නමුත් ලකුණු වේගය රැස් කිරීමට යෑමේදී ඔහු දැවී ගියේය. පන්දු යැවීමේදී දැවී ගිය කඩුලු 8 න් කඩුලු 4 ක් එෂාන් මාලිංග විසින්ද කඩුලු 3 ක් බිනුරප්‍රනාන්දු විසින්ද දවා ගනිද්දී අනෙක් කඩුල්ල මහීෂ් තීක්ෂණ විසින් දවා ගත්තේය. ඊට අමතරව කුසල් පෙරේරා පන්දු 24 කදී ලකුණු 33 ක් රැස් කළ නමුත් මේ කිසිවක් ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවීිය.

පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් කණ්ඩායමේ පළමු කඩුලු 2ම ලකුණු 15 දී බිද වැටුණද අනතුරුව පිටියට පිවිසි ළහිරු උදාර (41), නුවනිඳු ප්‍රනාන්දු (70) සහ නායක චරිත් අසලංක (59) ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා ලකුණු 200 ආසන්නයට පැමිණීමට හැකියාව ලැබිණ. මෙහිදී වැඩිම ලකුණු ලාභියා වූ නුවනිඳු නොදැවී ලබා ගත් ලකුණු 70 සදහා ඔහු පන්දු 52 කට මුහුණ දී තිබුණේ ඉන් එකක් හයේ පහරකින්ද පහර 8 ක් හතරේ පහරවලින් ද ඉනිම වර්ණවත් කර ගනිමිනි.

ඊට අමතරව චරිත් අසලංක රැස් කරන ලද ලකුණු 59 සඳහා ඔහු පන්දු 34 කට මුහුණ දී තිබුණේ හයේ පහර 2ක් සහ හතරේ පහර 7 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. අසීරුතාවයෙන් කණ්ඩායම ගොඩ දැමූ ළහිරු උදාර ලබාගත් ලකුණු 41 සඳහා ඔහු පන්දු 24 කට පමණක් මුහුණ දී තිබුණේය. එම ඉනිම හතරේ පහර 7 කින් වර්ණවත්ව තිබිණ.

ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී ලකුණු 192 යි – (නුවනිඳු ප්‍රනාන්දු 70*, ළහිරු උදාර 41, චරිත් අසලංක 59, නිරෝෂන් දික්වැල්ල 11, චමිඳු වික්‍රමසිංහ 05, දිනේෂ් චන්දිමාල් 00, අකිල ධනංජය 27/1, ඩිල්ෂාන් මදුෂංක 38/1, ධනංජය ද සිල්වා 14/1, මතීෂ පතිරණ 30/1)

බ්ලූස් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 168 යි – (පැතුම් නිස්සංක 20, විශේස් හැළඹගේ 35, කුසල් පෙරේරා 33, ධනංජය ද සිල්වා 17, අහන් වික්‍රමසිංහ 00, දසුන් ශානක 31, දුනිත් වෙල්ලාලගේ 11*, ජෙෆ්රි වැන්ඩර්සි 03, අකිල ධනංජය 09, එෂාන් මාලිංග 42/4, බිනුර ප්‍රනාන්දු 36/3, මහීෂ් තීක්ෂණ 22/1)

Shares: